ගැමි ජනතාවගේ සිතුම් පැතුම් කැටි වු ගැමි පරිසරය හා බැදී පවතිනා සාහිත්‍යාංගයක් ලෙස ජනකවිය හැදින්විය හැකිය.නිර්ව්‍යාජ වු සිතුවිලි සමුදායකින් පෝෂණය වු ජනකවිය තුළින් ගැමි ජනතාවගේ සහජ කවීත්වය මැනවින් නිරූපණය වේ.ශ්‍රී ලංකාවේ බොහොමයක් සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගත් කල ඒවා පැරණි සංස්කෘත අලංකාරවාදීන් විසින් පනවා තිබෙන රීති පාදක කොට ගෙන රචනා වී තිබේ.නමුත් ජනකවි කිසිදු රීතියකට කොටු නොවී ස්වාධීනව බිහි වු නිර්මාණ විශේෂයකි.ජනකවියට නිශ්චිත කර්තෘත්වයක් නැත.ගැමි ජනයා සිය වෙහෙස මහන්සිය නිවා ගැනීමටත් විනෝදාස්වාදය පිණිසත් ගැයූ ගායනා ජනකවි බවට පත්වන්නට ඇත.
ජනකවියේ විශේෂතා
* භාෂාව සරල වීම.
ජනකවියා සිය කවි නිර්මාණයට යොදා ගත්තේ සරල භාෂාවකි.එසේම අර්ථවත් භාෂාවකි.
උදා:- “බෝඹු ඉදල දලුලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වකයාදෝ නොයාදෝ
කැළණි ගගේ ඔරු යාදෝ නොයාදෝ
කලුගෙ නගා මෙහි ඒදෝ නොඒදෝ “
“පැලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කිය වෙනවා“
එසේම භාෂාව රසවත්ව ගීතවත්ව යොදාගෙන තිබේ.
උදා:- “පැලේ පැදුර වැස්සට තෙමි තෙමී යේ
වෙලේ ගොයම් සුළගට වැනි වැනී යේ
කනේ තෝඩු අව්වට දිලි දිලී යේ
බලන්නට වරෙන් දවසක කොමල ලියේ“
* උපමා රූපක භාවිතා කිරීම.
උදා:- “වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි“
“ අවට හෙළි කරන නුබෙ මූණ සද වගේ
දවටමින් සලුව බබලාය සිහිනිගේ
පවට ඉපදුනත් කිම කරන අර දගේ
කවට කමටදෝ බැලුවේ මූණ මගේ“
* සංයමයෙන් යුතුව අදහස් ඉදිරිපත් කිරිම.
ජනකවියා තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ සංයමයයි.මෙම සංයමය හා සරල බව විදග්ධ කවීන් තුළ දක්නට නොලැබේ.ඔවුනට අවශ්‍ය වූයේ සිය පාණ්ඩිත්‍ය ලොවට හෙළි කිරිමටය.එමනිසා ජනකවියට ලාංකේය ජන සමාජය තුළ වැඩි ඉඩක් හිමි විය.
උදා:- “අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ
අම්බලමේ නැවති අපි යමුද නගෝ
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිදුගෙ කිරි හිින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියණ්ඩි ගමරට දුර හින්දා “
මහ මග තනිව යන යුවතියක් දැක තරුණයෙකුට ඇය කෙරෙහි කැමැත්තක් ඇති වේ.ඔහු සිය හැගීම් ඇයට ප්‍රකාශ කරන්නෙත් ඇය සිය අකැමැත්ත ඔහුට පවසන්නෙත් ඉතාම සංයමයෙනි.
*මානුෂීය හැගීම් නිරූපණය වීම.
“ මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනින් කිරි දුන්නේ අප දෙන්නාට
තියෙන දෙයක් දුන්නෙත් අප දෙන්නාට
බුදුන් වදින ලෙස වැදපන් අම්මාට“
“ඉර පායා ඉර මුදුනට එන්න එපා
සද පායා සද මුදුනට එන්න එපා
පෑදි දියට බොර දිය එක්වන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා“
* කර්ම සංකල්පය නිරූපණය වීම.
“ ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට“
“ සීරුවෙ ගමන් ඇවිදින් පාරුවට
මාරුවෙ හබල් අදිමින් විටින් විට
පූරුවෙ කරපු අකුසල් ගෙවන්නට
පාරුවෙ ඇවිත් දුක් විදිනව දැනට“
මේ ආදි විශේෂ ලක්ෂණ ජනකවි තුළින් දැකිය හැකිය.
No comments:
Post a Comment