Tuesday, January 31, 2017

ගොයම් කවි

             

කෝළම් නාටක

කෝළම් නාටක යනු වෙස් මුහුණු පැළදගෙන රගන නාට්‍ය විශේෂයකි.ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ප්‍රචලිතව පවති.ඒ අනුව ගාල්ල, අම්බලන්ගොඩ, මිරිස්ස, හම්බන්තොට, තංගල්ල, ගිංතොට, සීනිගම යනාදි ප්‍රදේශවල රග දැක්වේ.

විනෝදය,හාස්‍ය හා උපහාසය පදනම් කරගත් නාටක විශේෂයකි.විනෝදාස්වාදය මෙන්ම ශාන්තිකර්මයක් ලෙසද කෝළම් රග දක්වනු ලැබේ.පහතරට ශාන්තිකර්ම වන රට යකුම,දෙවොල්මඩු යනාදිය ඇසුරින් බිහි වී තිබේ.

මහා සම්මත රජ බිසවට වැළදුණු දොළදුකක් හේතුවෙන් කෝළම් නාට්‍ය සම්ප්‍රදාය ආරම්භ වූ බව විශ්වාස කෙරේ.මහා සම්මත බිසවට වෙස් මුහුණු නැටුම් දැකීමේ බලවත් ආශාවක් ඇති විය.නමුත් එම නැටුම් පිළිබද දත් අයෙක් නොසිටියෝය.බිසවගේ මෙම දොළදුක සංසිදුවීමට සක්‍රදේවේන්ද්‍රයා ක්‍රියා කරනු ලැබේ.ඒ අනුව සක් දෙවිදු රාජකීය උද්‍යානයේදි වෙස් මුහුණු හා ගීත හමුවෙන ලෙස කටයුතු කළේය.එම වෙස් මුහුණු පැළද වෙස් නැටුමක් රග දක්වා බිසවගේ දොළදුක සංසිදුවීය.
සෑම කෝළම් රංගනයකදීම මෙම ජනප්‍රවාදයට අනුව බිසව වේදිකාවට පැමිණේ. 

කෝළම් නාටකයක කොටස් දෙකක් දක්නට ලැබේ.
              1.පූර්ව භාගය(පොලිස් කෝළම,නොංචි කෝළම,මුදලි කෝළම                                     යනාදිය.)
              2.අපර භාගය(කතා වස්තු ඉදිරිපත් කෙරේ.එනම් ගම                                                    කතාව,මනමේ කතාව යනාදිය.)

කෝළම් එළිමහන් රංග භූමියක රග දක්වනු ලැබේ.එය සබය යනුවෙන්ද හැදින්වේ.පහතරට යක් බෙරය වාද්‍ය භාණ්ඩය ලෙස යොදා ගැනේ.රාත්‍රී කාලයේදි රග දක්වනු ලැබේ.සමාජයේ දුර්වල තැන් හාස්‍යයට හා උපහාසයට ලක් කෙරේ.බොහෝවිට කෝළම් නාට්‍යවලින් සිදු වන්නේ සමාජයේ සැබෑ තත්ත්වය නිරූපණය කිරීමය.


Sunday, January 15, 2017

ජන නාටක

සොකරි

සොකරි නාට්‍ය ප්‍රචලිත වී ඇත්තේ උඩරට ප්‍රදේශවලය.උඩරට පළාත්වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් ප්‍රදේශවලටත් මෙම නාටකය සීමා වී තිබේ.මුහුදුබඩ ප්‍රදේශවල මෙය රග දක්වනු නොලැබේ.
              අරමුණු:-  විනෝදාස්වාදය
                             සෞභාග්‍ය හා සශ්‍රීකත්වය
                             වස්දොස් දුරු කිරීම
සොකරි නාට්‍ය වනාහි ලක්දිව පවතින පැරණිම නාටක විශේෂයයි.සොකරි නාට්‍යයේ තේමාව වන්නේ වඳ ස්ත්‍රියකට දරුවකු ලැබීමය.මෙහි එන සොකරි චරිතය වඳ ස්ත්‍රියකි.ඇය ලක්දිවට එන්නේ කතරගම දෙවියන් වැද දරු උපතක් ලබා ගැනීමේ අටියෙනි.ඒ අනුව සොකරියට දරු උපතක් හිමිවන අතර එම දරුවා ප්‍රේක්ෂකයන්ට පිරිනැමීමෙන් හා දරු සුරතල් දැක්වීමෙන් නාට්‍ය අවසන් වේ.

සොකරි නාට්‍යයෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සියල්ල අභිරූපණයෙන් සිදු කිරීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කෙරෙන අතර නළුවෝ එය අභිරූපණයෙන් රගදක්වති.සියලුම චරිත රගපානු ලබන්නේ පුරුෂයන් විසිනි.ස්ත්‍රීන් රගපෑමට සහභාගි නොවේ.ස්ත්‍රී චරිත රගපානු ලැබුවේද පුරුෂ පාර්ශවය විසිනි.

සොකරි රගදැක්වීමේ යොදා ගන්නේ ප්‍රධාන සංගීත භාණ්ඩය ගැට බෙරයයි.ඇතැම් ප්‍රදේශවල උඩැක්කි භාවිතයට ගනි.අතිරේක වාද්‍ය භාණ්ඩ ලෙස තාලම්පට යොදා ගනි.එසේම සොකරි රගදැක්වීමේදී යොදා ගන්නා එකම රංග භාණ්ඩය වන්නේ වංගෙඩිය අනෙක් පස හරවා එහි උඩ ලන්තෑරුමක් තැබීමය.

සොකරි නාට්‍ය සාමාන්‍යයෙන් රග දක්වන්නේ ගොයම් කපා පාගා අවසන් වූ පසු කමත රංග භූමිය කොට ගෙනය.බොහෝවිට මේවා රගදක්වනු ලබන්නේ රාත්‍රී කාලයටයි.මන්දයත් ගැමියන් විවේකීව පසුවන්නේ එම වෙලාවේදීය.හාස්‍යජනක සිදුවීම්වලින් පිරිණු සොකරි නාටකය ගැමියන්ගේ විඩාව දුරු කිරීමට යොදා ගත හැකි කදිම මාර්ගයකි.
සොකරි නාටකයේ ඇතුළත් චරිත:-
             * ආඩිගුරු                *සොකරි අම්මා        *පරයා
             *වෙදරාළ                *හෙට්ටියා                *වඩුරාළ
             *කාලි අම්මා            *සොත්තානා            *කපුරාළ

සොකරි කථාව කෙටියෙන් මෙසේය.ගුරුහාමි හා සොකරිය විවාහ වී කලක් ගත වුවද දරුවන් නොලැබේ.එමනිසා කතරගම දෙවියන්ට බාරයක් ඔප්පු කිරීමට ලක්දිවට පැමිණේ.ඔවුන්ගේ මෙහෙකරුවා වන පරයා සහ කාලි අම්මාද ඔවුන් සමග පැමිණේ.ලක්දිවට පැමිණි ඔවුන් එක් ගමක වාසය කරයි.දිනක් ගුරුහාමිගේ කකුල බල්ලෙකු විසින් සපාකනු ලැබේ.ඔහුට වෙදකම් කිරීමට වෙදෙක් රැගෙන එන අතර ඔහු ස්වල්ප දවසක් ගුරුහාමිගේ ගෙදර වෙසෙයි.ගුරුහාමිට සුවය ලැබේ.වෙදරාළට දාව සොකරියට දරුවෙකුද ලැබේ.මෙම කථාව පළාතෙන් පළාතට මද මද වශයෙන් වෙනස් වේ.

Saturday, January 14, 2017

ජනකවි

ගැමි ජනතාවගේ සිතුම් පැතුම් කැටි වු ගැමි පරිසරය හා බැදී පවතිනා සාහිත්‍යාංගයක් ලෙස ජනකවිය හැදින්විය හැකිය.නිර්ව්‍යාජ වු සිතුවිලි සමුදායකින් පෝෂණය වු ජනකවිය තුළින් ගැමි ජනතාවගේ සහජ කවීත්වය මැනවින් නිරූපණය වේ.ශ්‍රී ලංකාවේ බොහොමයක් සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගත් කල ඒවා පැරණි සංස්කෘත අලංකාරවාදීන් විසින් පනවා තිබෙන රීති පාදක කොට ගෙන රචනා වී තිබේ.නමුත් ජනකවි කිසිදු රීතියකට කොටු නොවී ස්වාධීනව බිහි වු නිර්මාණ විශේෂයකි.ජනකවියට නිශ්චිත කර්තෘත්වයක් නැත.ගැමි ජනයා සිය වෙහෙස මහන්සිය නිවා ගැනීමටත් විනෝදාස්වාදය පිණිසත් ගැයූ ගායනා ජනකවි බවට පත්වන්නට ඇත.

ජනකවියේ විශේෂතා

* භාෂාව සරල වීම.
     
                 ජනකවියා සිය කවි නිර්මාණයට යොදා ගත්තේ සරල භාෂාවකි.එසේම අර්ථවත් භාෂාවකි.
              
                    උදා:-        “බෝඹු ඉදල දලුලාදෝ                  නොලාදෝ
                                        කෙකටිය මලේ වකයාදෝ         නොයාදෝ
                                       කැළණි ගගේ ඔරු යාදෝ           නොයාදෝ
                                       කලුගෙ නගා මෙහි ඒදෝ           නොඒදෝ “      
            
                                     “පැලේ පැදුර හේනට අරගෙන          යනවා
                                       එලා පැදුර මැස්සේ එහි සැත         පෙනවා
                                       රටා වියපු අත් දෙක මට සිහි        වෙනවා
                                       හිතේ දුකට එතකොට කවි කිය   වෙනවා“
                  
                 එසේම භාෂාව රසවත්ව ගීතවත්ව යොදාගෙන තිබේ.

                         උදා:-  “පැලේ පැදුර වැස්සට තෙමි තෙමී         යේ
                                     වෙලේ ගොයම් සුළගට වැනි වැනී       යේ
                                     කනේ තෝඩු අව්වට දිලි දිලී                  යේ
                                     බලන්නට වරෙන් දවසක කොමල  ලියේ“

* උපමා රූපක භාවිතා කිරීම.
               
               උදා:-            “වෙල් යායක ගොන් දෙන්නෙක් කකා         උනි
                                       ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි  වැනි
                                       වලිගය ඇති ගොනා මැස්සන්ට බැට           දුනි
                                       දුප්පත්කමත් වලිගය නැති ගොනා           වැනි“

                                     “ අවට හෙළි කරන නුබෙ මූණ සද         වගේ
                                        දවටමින් සලුව බබලාය                  සිහිනිගේ
                                        පවට ඉපදුනත් කිම කරන අර              දගේ
                                        කවට කමටදෝ බැලුවේ මූණ               මගේ“

* සංයමයෙන් යුතුව අදහස් ඉදිරිපත් කිරිම.

          ජනකවියා තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ සංයමයයි.මෙම සංයමය හා සරල බව විදග්ධ කවීන් තුළ දක්නට නොලැබේ.ඔවුනට අවශ්‍ය වූයේ සිය පාණ්ඩිත්‍ය ලොවට හෙළි කිරිමටය.එමනිසා ජනකවියට ලාංකේය ජන සමාජය තුළ වැඩි ඉඩක් හිමි විය.

                උදා:-       “අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද     නගෝ
                                   වසාගෙන දෙතන අතකින් කිම්ද        නගෝ
                                   හිමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ
                                   අම්බලමේ නැවති අපි යමුද                      නගෝ

                                   අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන       හින්දා
                                   වසාගෙන දෙතන බිළිදුගෙ කිරි            හිින්දා
                                   බාල මස්සිනා පස්සෙන් එන                   හින්දා
                                   යන්නම් අයියණ්ඩි ගමරට දුර               හින්දා “

                        මහ මග තනිව යන යුවතියක් දැක තරුණයෙකුට ඇය කෙරෙහි කැමැත්තක් ඇති වේ.ඔහු සිය හැගීම් ඇයට ප්‍රකාශ කරන්නෙත් ඇය සිය අකැමැත්ත ඔහුට පවසන්නෙත් ඉතාම සංයමයෙනි.

*මානුෂීය හැගීම් නිරූපණය වීම.

                            “ මල්ලියෙ ඔහොම නොකරන් අපෙ     අම්මාට 
                               දෙතනින් කිරි දුන්නේ අප                 දෙන්නාට
                               තියෙන දෙයක් දුන්නෙත් අප          දෙන්නාට 
                               බුදුන් වදින ලෙස වැදපන්                     අම්මාට“

                            “ඉර පායා ඉර මුදුනට එන්න                  එපා 
                              සද පායා සද මුදුනට එන්න                  එපා
                              පෑදි දියට බොර දිය එක්වන්න            එපා
                              අම්මා නැති අපට බඩගිනි වෙන්න    එපා“

* කර්ම සංකල්පය නිරූපණය වීම.
  
                           “ ඉන්නේ දුම්බරයි මහ කලු ගලක්            යට
                              කන්නේ කරවලයි රට හාලේ               බතට
                              බොන්නේ බොර දියයි පූරුවේ කළ     පවට
                              යන්නේ කවදාද මව්පියො             දකින්නට“

                           “ සීරුවෙ ගමන් ඇවිදින්         පාරුවට
                              මාරුවෙ හබල් අදිමින් විටින්      විට
                              පූරුවෙ කරපු අකුසල්   ගෙවන්නට
                              පාරුවෙ ඇවිත් දුක් විදිනව    දැනට“

    මේ ආදි විශේෂ ලක්ෂණ ජනකවි තුළින් දැකිය හැකිය.        

ජනකලා

ජනකලා යනු?

ජනකලා යනු ගැමියන් විසින් නිර්මාණය කර මුඛ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන ග්‍රන්ථාරූඪ නොවූ කලාවයි.ජනකලා යටතට,
                                       *ජනකවි
                                                    *ජන නාටක
                                                    *ජන කථා
                                                    *ජන ගීත
                                                    *ජන කියමන්
                                                    *ජන නැටුම්
                                                    *ජන ඇදහිලි හා විශ්වාස
                                                    *ජන නිර්මාණ(මූර්ති,චිත්‍ර,කැටයම්)
                                                                                                                           යනාදිය අයත් වේ.මෙම කලා නිර්මාණ තුළ ගැමි සමාජය,ගැමි සංස්කෘතිය,ආගම යනාදිය මැනවින් නිරූපණය වේ.විනෝදාස්වාදයට මෙන්ම එක් එක් දේශයන්හි පවතින සංස්කෘතික විපර්යාසයන් අධ්‍යයනය කිරීමට ජනකලා වැදගත් වේ.

ජනකලා පිළිබද‍  පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සදහා එය ශාස්ත්‍රීය නිර්මණ හා සංසන්දනය කොට බැලීම වටී.
* ජනකලා මුල්ම නිර්මණ වේ.ශාස්ත්‍රීය නිර්මණ බිහි වන්නේ ජනකලා ඇසුරු කොට ගෙනය.නිදසුනක් ලෙස “පණ නම් තණ අග පිණිබිදු වැනිය“ යන ජන කියමන මුල්කොට ගනිමින් වීදාගම මෛත්‍රී තෙරිදු සිය ලෝවැඩ සගරාවෙන් පාඨකයනට උපදෙසක් දී තිබේ.එනම්,

                       “පණ නම් තණ අග පිණි බිදු        වැන්නේ
                         පින නම් නොපමාවම කර          ගන්නේ“

*ජනකලා පැවත එන්නේ මුඛ පරම්පරාවෙනි.නමුත් ශාස්ත්‍රීය නිර්මාණ ග්‍රන්ථාරූඪ ස්වරූපයෙන් පවති.
     උදා:- කාව්‍යශේඛරය, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය

* ජනකලා ආරම්භ වු කාලයක් හා ආරම්භ කළ කෙනෙක් පිළිබද සදහන් වී නොමැත.නිදසුනක් ලෙස හාවා සහ ඉබ්බාගේ කථාව, කපුටා සහ කේජු කෑල්ල වැනි ජන කථා කව්රුන් විසින් නිර්මාණය කළේද යන්න නොදනි.ශාස්ත්‍රීය කෘති ගත් කල ඒවායේ කර්තෘ කෙනෙක් හා යුගයක් සදහන් වේ.නිදසුනක් ලෙස සද්ධර්මරත්නාවලිය දඹදෙනි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිතය.

*ජනකලා නිර්මාණයේදි කිසිදු රීතියක් උපයෝගි කොට නොගනි.
           උදා:- “වෙල් යායක ගොන් දෙන්නෙක් කකා   උනි“
එහෙත් ශාස්ත්‍රීය නිර්මාණවලදි බොහෝවිට රීතීන් භාවිතා කළ යුතුය.
          උදා:- “සැවැත්නුවර අදින්න පුබ්බක නම් බමුණාන කෙනෙක් වෙසෙති.“(සද්ධර්මරත්නාවලිය)

* ජනකලා සියලු දෙනාටම අවබෝධ කර ගැනීමට හැකිය.මන්ද යත් භාෂාව සරලය.
        උදා:- “පැලේ පැදුර හේනට අරගෙන   යනවා“
 නමුත් ශාස්ත්‍රීය ලේඛන හැමදෙනාටම තේරුම් ගැනීමට නොහැකිය.ඒ තුළ ඇත්තේ විදග්ධ භාෂාවකි.
      උදා:- “මහ සයුර මිණි ග                   ණ
                   තෙද කලබ මෙන් නුබ මෙ   ණ...“ (කාව්‍යශේඛරය)

ඒ අනුව ජනකලා හා ශාස්ත්‍රීය නිර්මාණ අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව පෙනේ.