සොකරි
සොකරි නාට්‍ය ප්‍රචලිත වී ඇත්තේ උඩරට ප්‍රදේශවලය.උඩරට පළාත්වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් ප්‍රදේශවලටත් මෙම නාටකය සීමා වී තිබේ.මුහුදුබඩ ප්‍රදේශවල මෙය රග දක්වනු නොලැබේ.
අරමුණු:- විනෝදාස්වාදය
සෞභාග්‍ය හා සශ්‍රීකත්වය
වස්දොස් දුරු කිරීම
සොකරි නාට්‍ය වනාහි ලක්දිව පවතින පැරණිම නාටක විශේෂයයි.සොකරි නාට්‍යයේ තේමාව වන්නේ වඳ ස්ත්‍රියකට දරුවකු ලැබීමය.මෙහි එන සොකරි චරිතය වඳ ස්ත්‍රියකි.ඇය ලක්දිවට එන්නේ කතරගම දෙවියන් වැද දරු උපතක් ලබා ගැනීමේ අටියෙනි.ඒ අනුව සොකරියට දරු උපතක් හිමිවන අතර එම දරුවා ප්‍රේක්ෂකයන්ට පිරිනැමීමෙන් හා දරු සුරතල් දැක්වීමෙන් නාට්‍ය අවසන් වේ.
සොකරි නාට්‍යයෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සියල්ල අභිරූපණයෙන් සිදු කිරීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කෙරෙන අතර නළුවෝ එය අභිරූපණයෙන් රගදක්වති.සියලුම චරිත රගපානු ලබන්නේ පුරුෂයන් විසිනි.ස්ත්‍රීන් රගපෑමට සහභාගි නොවේ.ස්ත්‍රී චරිත රගපානු ලැබුවේද පුරුෂ පාර්ශවය විසිනි.
සොකරි රගදැක්වීමේ යොදා ගන්නේ ප්‍රධාන සංගීත භාණ්ඩය ගැට බෙරයයි.ඇතැම් ප්‍රදේශවල උඩැක්කි භාවිතයට ගනි.අතිරේක වාද්‍ය භාණ්ඩ ලෙස තාලම්පට යොදා ගනි.එසේම සොකරි රගදැක්වීමේදී යොදා ගන්නා එකම රංග භාණ්ඩය වන්නේ වංගෙඩිය අනෙක් පස හරවා එහි උඩ ලන්තෑරුමක් තැබීමය.
සොකරි නාට්‍ය සාමාන්‍යයෙන් රග දක්වන්නේ ගොයම් කපා පාගා අවසන් වූ පසු කමත රංග භූමිය කොට ගෙනය.බොහෝවිට මේවා රගදක්වනු ලබන්නේ රාත්‍රී කාලයටයි.මන්දයත් ගැමියන් විවේකීව පසුවන්නේ එම වෙලාවේදීය.හාස්‍යජනක සිදුවීම්වලින් පිරිණු සොකරි නාටකය ගැමියන්ගේ විඩාව දුරු කිරීමට යොදා ගත හැකි කදිම මාර්ගයකි.
සොකරි නාටකයේ ඇතුළත් චරිත:-
* ආඩිගුරු *සොකරි අම්මා *පරයා
*වෙදරාළ *හෙට්ටියා *වඩුරාළ
*කාලි අම්මා *සොත්තානා *කපුරාළ
සොකරි කථාව කෙටියෙන් මෙසේය.ගුරුහාමි හා සොකරිය විවාහ වී කලක් ගත වුවද දරුවන් නොලැබේ.එමනිසා කතරගම දෙවියන්ට බාරයක් ඔප්පු කිරීමට ලක්දිවට පැමිණේ.ඔවුන්ගේ මෙහෙකරුවා වන පරයා සහ කාලි අම්මාද ඔවුන් සමග පැමිණේ.ලක්දිවට පැමිණි ඔවුන් එක් ගමක වාසය කරයි.දිනක් ගුරුහාමිගේ කකුල බල්ලෙකු විසින් සපාකනු ලැබේ.ඔහුට වෙදකම් කිරීමට වෙදෙක් රැගෙන එන අතර ඔහු ස්වල්ප දවසක් ගුරුහාමිගේ ගෙදර වෙසෙයි.ගුරුහාමිට සුවය ලැබේ.වෙදරාළට දාව සොකරියට දරුවෙකුද ලැබේ.මෙම කථාව පළාතෙන් පළාතට මද මද වශයෙන් වෙනස් වේ.